Wednesday, July 10, 2013

වාස්ගේ පුතා සියාම් ඝාතනයට සැකයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධනද සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු බවද ඔහු සොයාගැනීමට නොහැකිවී ඇතැයිද රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (09) අධිකරණයට දන්වා සිටියේය.
රහස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් තවදුරටත් කියා සිටියේ, සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත‍්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා දින 3ක් ඔහුගේ නිවසට ගිය නමුත්, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිද ඊට ඉඩ ලබා නොදී පරීක්ෂණවලට බාධා එල්ල කළ බවයි.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ, තම සේවාදායකයාගේ පුත‍්‍රයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද නියෝගයක් ලබාදුනහොත් හෙට (10) ඒ සදහා කටයුතු කරන බවයි. එහෙත් රහස් පොලීසිය තම සේවාදායකයාගේ නිවසට පැමිණියේ ඔහුගේ පුත‍්‍රයා සොයා නොව වෙනත් කරුණුවලට බවය.

මේ අතර, රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව ජිප් රියේ තිබූ ලේ මිනිස් ලේ බවට හෙලිවී ඇත.

එම ලේ සියාම්ගේ දැයි සොයා බැලීමට ඩී.එන්.ඒ ජාන පරීක්ෂණයක් පැවැත්වීමට යොමු කර ඇතැයිද අබේසේකර මහතා සදහන් කළේය.

එසේම මේවන විට සොයාගත් අවියක උණ්ඩ කිහිපයක අඩුවක් පවතින බවද ඔහු සඳහන් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකු සඳහන් කළේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රස්ත මර්දන පනත යටතේ ප්‍රශ්න කිරීම නීති විරෝධී බවයි.

ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පිලපිටිය මහතා රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් විමසු විට ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ගෙන අධිකරණයට දන්වන බව කීය.